Sunday, December 23, 2012

වීමංසා අත් වැල (Vimansa Athwela) හා කිවුල කියවන ගුණය ජංගම පුස්තකාල සේවය (Mobile Library Service)


අද මම හිතුවා ඔබත් එක්ක තරමක වෙනස් දෙයක් ගැන තොරතුරැත්, අදහසකුත් බෙදා ගන්න.

ඒ මා වසන ගමේ දැනට වසර දෙකහමාරකට ඉස්සර පටන්, අප සතිපතා පවත්වගෙන යන 'කිවුල කියවන ගුණය ජංගම පුස්තකාල සේවය' කියලා නම් කරලා තියන, මිලට නොව, ආදරයට, හැම සතියකම සෙනසුරාදා සවස, ගමේ අයගෙ ගෙවල් වලටම පොත් ත්‍රී වීලර් රථයකින් ගෙන යන වැඩසටහනේ තවත් වැඩක් ගැන.

දැනට පුස්තකාල සේවයෙන් පොත් අරන් කියවන 'සාමාජිකයො' 315 ක් විතර ඉන්නව. ඒ අතරින් සමහර දරැවන්, නැන්දලා, මාමලා නිර්මානාත්මක දේ කරන්න කැමති හින්ද, මීට වසර දෙකකට කලින් අප ඇරඹුවා 'කිවුල වීමංසා අත්වැල' කියන මාසික ප්‍රකාශණය පළ කරන්න.

මේ
ලින්ක් එකෙන් දිගෑදෙන්නෙ එහි ගිය මාසෙ පළවූ කලාපය:
https://docs.google.com/file/d/0B6xx6_E157dVX2dCRHJaTy1VQ0U/edit


මෙය ශාස්ත්‍රීය පළ කිරීමක් ලෙස සැලකීමක් අප බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එය හුදෙක් අපේ ගමේ සරල ගැමියන් ආසාවට ලියන දේ එකතුවක් ලෙස පළ කිරීමක් පමණයි.

නමුත් මෙය ඔබට ඉදිරිපත් කිරීමේ තවත් අරමුණක් මගේ තිබෙනවා. ඒ තමයි, ඔබටත් ඔබ ජීවත් වන පළාතෙ ඉතා සුළු මුදලකට මෙවන් දෙයක් ඇරඹිය හැකි නේද, යන ඉල්ලීම ඉතා සංවේදීව කරන්න. වැයවන්නෙ සතියකට ත්‍රී වීලරයේ ඉන්දන වියදමයි, මාසයකට වරක් ප්‍රකාශණය ලිතෝ අච්චු ගහන වියදමයි විතරයි. සතියකට පැය දෙකක් විතර කාලයක් කැප කරන්නත් වෙනව. අපට පොත් මිතුරන්ගෙන් ලැබෙනව. හුඟක් වෙලාවට කියවලා ඉවර වුනු ඒවා. අපෙ අත් දැකීම තමයි පටන් ගත්තම උදව් වෙන්න හුඟ දෙනෙක් පෙළඹෙන බව. මුදලින් ආධාර නම් ගන්න එපා. එතකොට ව්‍යාපාරයක් වගෙ වෙනවා. ශ්‍රම ආධාරය ඊට වඩා හුඟක් වටිනවා.

මේ ආයාචනය අප කරන්නෙ, වසර දෙකහමාරකට පස්සෙ ගමේ අය මේ සේවයට දක්වන ප්‍රතිචාරයේ හැඩ දැකලා. ඒ අය සමහරෙකු ලියන, කියන දේ වල හරය දැකල.

ඔබේ ගමෙත්, නගරෙ අසල්වැසි පෙදෙසෙ වුනත් හිතන්න මෙවන් දෙයක් අරඹන්න. ලොකුවට නෙවි, පුංචියට, තම තමන්ට හැකි පමනින්. පටන් ගන්න කොට උත්සව වලට මුදල් යොදවන්නෙ නැතුව. අවශ්‍ය ප්‍රසිද්දිය විතරක් දීලා, වැඩි සද්ද නැතුව.

හැකියාවක් ඇති අප හැම කෙනෙක් සුලුවෙන් හරි අන් අයට කියවීම හා ලිවීම සඳහා රැකුලක් වුනොත් එය සමාජ සාදනයට හා අප දරැවන්ට ලොවක් විවර කර දීමටත් මහත් රැකුලක් වන බව, මගෙ අහිංසක හැඟීමයි.

මට මේ වැඩේට උදව් වුනු කීප දෙනෙක් ඉන්නව, මතක් කරලා පින් දෙන්න. මුලින්ම මාත් එක්ක මුල ඉඳලම ලොකු හයියකට හිටිය, හැම සෙනසුරාදාම නොවරදවාම වැඩේට ලැහැස්ති වෙලා, ත්‍රී වීලයෙ ගිහින් පුස්තකාලෙ බාරව ස්වෙච්චාවෙන් වැඩ කරන, මගෙ මිතුරැ නාලක ලංකාධිකාරි හා එයාට උදව් වන අපෙ ගෙදර ඉන්න සිරිසේන (මාවැල්ලෙ) මාමා. හැම සෙනසුරාදාම එක එක්කෙනා බෙදා ගෙන, පිළිවෙලකට සාධාරණ ගානකට, ත්‍රී වීලර් අරන් එන කිවුල හංදියෙ ත්‍රී වීලර් මාමලා. හැම මාසෙකම මුලදි, අප ලියලා සකස් කරලා ගිහිල්ලා දෙන පිටපත, ලීතෝ මුද්‍රණය කරල දෙන අම්බලන්තොට හිරැ ග්‍රැෆික්හි දුමින්ද මල්ලි. අපට අවශ්‍ය පොත් ඉල්ලූ විට ලබා දීලා අපට නිරතුරැවම පිහිට වන හැමෝගෙම නම් නොකීවට හිතේ ආදරණීය කොනක හැමදාම රැඳිලා තියෙන, මගෙ හොඳ මිතුරැ, මිතුරියො.
 
 

No comments:

Post a Comment