Monday, December 17, 2012

ආ ගිය මග වග...

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 16 වන සෙනසුරාදා කිවුල කිවසෙදි

 

යනව කිව්වට, ගියේ නම් නැත
එනව කීවට, ආවෙ නම් නැත
යනව කිව්වත්, එනව කිව්වත්
කුමක් කීවත්, තාම මග නැත.

මගක් නැතුවට, බහක් දී ඇත
බහක් දුන්නට හිතක් දී නැත
හිතක් නැති තැන බහක් කුමටද?
හිතේ බහකට මගක් කුමකට
?

මගේ යන වග දැනන් හිටියද

නොදැන යන මග, කුමට යනවද?
අතරමං වූ හිතක බහකට

මගක් පාදන හිතක් කුමටද?

හිතේ පාදන මගක අරැමය

බහක් දුන්නට වැටහුණේ නැත
සරා යන මග, අරා සිටි ඔබ
සදා දුන් මග සරණ විය මට.

සරන මග මා හෙලි වෙලා ඇත
හිතේ බහ ගීතයක් වී ඇත
ගීය ගයනා මගේ හදවත
තත් සරන මත අසරනව ඇත.

මා සරණ සර ගයන ගීයේ
එන නොඑන බව ලියවිලා ඇත
මගක් හෙලි කල හිතේ හිතුවිලි
බහේ මහිමෙන් කියවෙලා ඇත.

ගොයම පීදුන වෙලක අසිරිය
කමත පුරවන බැතක සරි විය
ගලා ගෙන යන ගඟක අරැමය
සයුර අබියස අසරණව ඇත.

කියූ බහ මිස නොකී බහකට
හිත යොමා සත් මග සරන්නට
යනව කිව්වට, ගියේ නම් නැත
එනව කීවට, ආවෙ නම් නැත.


 

No comments:

Post a Comment