Friday, December 28, 2012

ඒ කතාව ...

හෙට කියනවා කියලා පෙරෙදා කියපු, ඊයෙ කියන්න හිතා ගෙන හිටිය, කතාවයි ම...
තුටින් කියන්නෙ රෙන්ටන් ද අල්විස්, දෙසැම්බර මස 28 වෙනිදා කිවුලෙ නිවසෙ ඉඳන්.

මං ඉස්සලම ප්‍රසිද්දියෙ මොනවා හරි ලිව්වෙ, බම්බලපිටියෙ ශාන්ත පීතරයෙ ඉස්කලෙට යන කාලෙ, ගරැ මර්සලීනු ජයකඩි පියතුමා අපට සිංහළ උගන්නන කට, ඉස්කෝලෙ සඟරාවට. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ වැඩි පිලිගැනීමත් තිබුනෙ ඉංග්‍රීසියට. කොහොම හරි දණගාලා, බඩගාලා, වැටිලා, නැගිටලා ඒකත් ඉගෙන ගත්තා. ආසාවට වඩා, ලජ්ජාව වහ ගන්න.

මේ දවස්වල තමයි, ‘පන්සලේ පියතුමා’ගෙ හොඳම වැඩ හුඟක්ම සිද්ද වුනෙ. රේඛාවට ඒ අනගි සිංදු පද බැඳෙන්නෙ. සුනිල් සාන්තයන්, අයිවෝ ඩෙනිස් වැනි හෙළ සංගීත ලොවේ දැවැන්තයන් අප පාසලට යන්නෙ, එන්නෙ. සිසුන් ලෙස අපට, ඹවුන්ගෙ ඇසුර ලැබෙන්නෙ. කොළඹ පාසලක අප දන්න තරමින් පිහිටෙව්ව, මුල්ම සිංහළ වාද්‍ය බ්‍රෘන්දය ඇරඹෙන්නෙත් මේ කාලෙ. මේ මං කියන්නෙ 1960 ගනන් වල මුල ගැන.


අර කලින් පාසල් සඟරාවට ලිව්වට පස්සෙ, මගෙ මේ අංශෙ ඊළඟ සාර්ථක වෑයම වුනෙ උසස් පෙළ පංතියෙ ඉන්දැද්දි ,  මැන්දිස් රෝහණධීර මහත්මයා, ඒ කාලෙ විදුදයෙ සරසවියෙ කථිකාචාර්යතුමෙක් විදියට, ගුවන් විදුලියෙ සිංහළ සේවයෙ මෙහෙයපු සාහිත්‍ය රස වින්ඳන වැඩ සටහනකට සහභාගි වන්න ලැබුන ආරාධනාවයි. ‘යශෝදරාවතේ’ ඇයගෙ සංවෙදි යාදින්නට, “මෙය නොවිය හැකි දෙයකි. නොවිය යුතු දෙයකි. මෙවන් ළඳුන් මෙලොව ඉන්නවාද?” යැයි අසා, මා ලියූ විචාරය ගැන සංවාදයකටයි ඒ ඇරයුම ලැබුනෙ. එදා මං හොඳට පිම්බුන බව මට මතකයි. හරියට යහමට හුලං ගහපු බැලුමක් විදියට. අම්මයි, තාත්තයි, මමයි, මිතුරො දෙන්නෙකුයි, ගුරැවරැ දෙන්නෙකුයි ඇරෙන්න, මා හඳුනන වෙන කවුරැවත්ම ඒ වැඩසටහන අහලා තිබුනෙ නෑ කියලා දැනගත්තම, දවස් දෙකකට විතර පස්සෙ ඒ බැලුම, කාටවත් ඇහෙන්නෙවත් නැතුව පිපුරැනා.


ඉන් පස්සෙ, කැළණිය සරසවියෙදි නැවත මා ඉංගිරිසියෙන් වැඩිමනක්ව, ඉඳහිටලා සිංහළෙනුත් යම් යම් නිර්මාණ යැයි, මා හිතූ දේ කළා. ඉංගිරිසි කවි සමහරක් හල්පෙ මහාචාර්යතුමා පෙරාදෙණියෙන් අරඹපු, ‘නව සිලු’ සඟරාවෙ පළ වුනා.  ඊටත් පස්සෙ,
ඒවා එක දෙක, මහාචාර්ය ගුණතිලකයන් සංස්කරනය කරපු ‘ඉංග්‍රීසියෙන් කළ නව ලාංකික ලිවීම්’ පිළිබඳ කෘති කීපයකම පල වුනා.



ඒ කාලෙම වගෙ, මට ආර්ථික විද්‍යා අංශයෙ උගන්නන්න රස්සාවක් ලැබිලා තිබුනා. නවක කථිකාචාර්යවරයෙක් විදියට, විදුදයෙ ඉගෙන ගෙන, විදුලකරෙ උගන්නන්න ආව මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් අප එක්ක, ඒ කාලෙ ඇදුරැ මඬුල්ලෙ හිටියා. ඔහු උගැන්නුවෙ සිංහළ අංශයෙ. ඒ වෙනකොටත් ඔහු කවි කමට සෑහෙන නමක් දරලයි තිබුනෙ.  මා දවසක කෑම වෙලාවෙදි ඔහුට මා ලියාපු සිංහළ කවි ගොන්නක් පෙන්නුව. එදා ඔහුගෙ ප්‍රතිචාරය වුනෙ “ ආර්ථික විද්‍යාවෙ රෙන්ටන් වගෙ, හුඟක් අනික් අයත් ඇති මෙහෙ කවි ලියන. අපි කවි පොතක් කරමු ඒවා හොයාගෙන” යන්නයි. මම මහත් ආනන්දයකින් වැඩේට දායක වෙලා, ඒ දවස් වල අප දැන අඳුනගෙන සිටිය රජයේ සංස්ථාවල අය ළඟට ගිහින්, මුද්‍රණය සඳහා ඇවැසි බරපැන සොයා දුන්න. මගේ ‘පොල්කිච්චෝ’ හා ‘ හිරෝෂීමා සිනාසෙන විට නාගසාකිය අත වනන්නිය’ කව් වැල් දෙකත්, අන් බොහෝ සිසු, ඇදුරැ සගයන්ගේත් ඉතා නිර්මාණශීලී එකතූන් එක්ක, විමල් දිසානායකයන් හා සුනිල් ආරියරත්නයන්ගේ සංස්කරණයෙන් එදා (1974) ‘විදුලකර කවි’ එළි දැක්වුනෙ එහෙමයි. ඒක එළි දක්වන කොට මා ලංකාවෙ හිටියෙ නැහැ. වැඩිදුර ඉගෙන ගන්න, ශිෂ්‍යත්වයක් ලැබිලා පිට රට ගිහින්.


ඊට කාලාන්තරයකට පස්සෙ, හරියටම කියනව නම් වසර 38 කට පස්සෙ, මීට සති දෙකකට විතර ඉස්සර දවසක මට අහඹුවෙන් හමුවුනා, තවත් සම්මාණනීය ගේය පද රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන්. ඒ අම්බලන්තොට ටවුමෙ සදර්න් හෝටලේ තේ බොන්න නවත්තපු වෙලාවක. ඔහු මොණරාගල පැවැත්වපු සාහිත්‍ය උත්සවයක කථාවක් කරලා එන ගමන්. මම ටවුමට ගියෙ බඩු වගයක් ගන්න. මා එදා ඔහුට මා හඳුනා දෙන්න මගේ නම කීවාම ඔහුගෙ අරැම ප්‍රතිචාරය වුනේ “විදුලකර කවි වල පොල්කිච්චෝ ලිව්වෙ ඹබ නේද ?” යන්නය. ඒ මදිවාට හේ, “රෙජිස්තාර රාළහාමි වන්නට ඇති තුන්වෙනියා” කියා ඒ පදයද ගයා , “මං කියෙව්වෙ ඉස්කොළ කාලෙ” කියා කී විට, මගේ පිම්බීම මොන හැටිවුනත්, ඔහුගේ ධාරණ මතකය ගැනත් එවන්, මටත් අමතකව තිබූ පද වැලක් පිළිබඳ “හොඳ දෙයක් කියෙව්වම, මට මතක හිටිනවා” යැයි පසු දිනක මා ඒ ගැන නැවත විමසූ විට, කී සැටිත් පිළිබඳ මා තුල ඇත්තේ මහත් ගෞරවයක්, සංවේදී භක්තියක් හා දයාබර සොම්නසකි. දැනට හැටපස්වන වියේ, ‘කබාය ඉරැනාට කමක් නැති’ ස්ථාවරයක සිටිනා මහට, නැවත, ආවේගයකින් කවි හා ලිපි නිමැවුම් කරන්නට ඔහු මෙදා දුන් ඒ තල්ලුව, යෝධ බලැතිය.


පසුගිය ඉරිදා ගාල්ලේ, බෝපේ පිහිටි මේ සොඳුරැ මිනිසාගේ නිවසට ඇරයුම් ලැබ, මා මිතුරැ නාලක හා පවුල සමග ගිය අපට, එහෙදී අද ගතින් නැති වුවත් සිතින් නිති ඔහු සමග වසන, දයාබර බිරිඳ හේමමාලියනුත්, දූ ප්‍රාර්ථනා සම්මානියනුත්, සුරතල් මිණිඹුර පරපුරත් දැන හඳුනාගන්නට ලැබින. අප දෙවසරකුත් හමාරකට පෙර පණදී, පවත්වාගෙන යන ‘ කිවුල කියවන ගුණය’ ජංගම පුස්තකාල සේවය’ ට, ඔහු හා දියණිය ලියූ හා අන් අය ඔහුගේ කවීත්වය ගැන ලියූ පොත් ගනනාවක්ම තිළිණ කිරීමද අප ඉතා සංවේදීව අගය කරමු.  


මා ඔබට දැක්ම සඳහා ඉදිරිපත් කර ඇති ජායා රෑ, එදා ඔහුගේ කාමර පුස්තකාලයේ කවරයකින් ආවරනය කර ඔහු හොඳින් රැක බලා ගත්, මා ළඟවත් පිටපතක් නැති ‘ විදුලකරකවි ’ පොතේ මා ගත් රෑ කීපයකි. කතෘ නම් පිටුවේ ඔහු කර ඇති අත්අකුරැ සටහන්ද, මගේ කව් වැල් සහිත පිටු දෙකද මෙහි වේ. ඔහු ලියු සම්භාව්‍ය පද වැලින් නෙලූ, සුදු නෙළුමක් වන් ඒ සොඳුරැ මිනිසා සමග අප ගත් රෑ දෙකක්ද මෙහි ඇත. ඔහු අපට කී ලෙසට ඒවාහි පසුබිම් මූර්තිය ඔහු ලියූ ගේය පද අරැත් දක්වන ලෙස මිතුරැ මූර්තිකරැවන් විසින් අඹා ඇති ඒවාය.









 
 
 
 

2 comments:

  1. ඇත්තෙන් ම .. සමහර මිනිස්සු ගැන අප නොදන්නා දේ කොපමණ නම් තිබෙනවා ද ...?

    ReplyDelete