Sunday, June 30, 2013

මාධ්‍යයට යාදින්නක්

හොඳට රහට ලුණු ඇඹුලට
අනල දෙනව ගුලිය යසට
අහන බලන අකුරැ මනින
මහජනයට අබින් වෙන්න

සල්ලි ගෙවල ඇඩ් දාන්න
මඩිය හොඳට තර කරන්න
කුණු කන්දල් ගොඩ දාන්න
රජ හොරැන්ට කඩේ යන්න

පක්ෂ පාත කම් කරන්න
එකෙක් නහල නැගී ඉන්න
නිවුස් මවල පළ කරන්න
හොඳ එවුන්ට මඩ ගහන්න

නරක වුනත් බලය ඇතොත්
ඇත්ත වහල කොලේ ගහල
ප්‍රවෘත්ති බණ මඩුව තියල
සත්ගුණවත් බව කියන්න

අයිති ඈයො මවන පදය
නිරස වුනත් ගී ගොතන්න
තිත්ත ඇත්ත රහ කරන්න
ගයා කියා පළ කරන්න

පුංචි උන්ගෙ ඔලු ගෙඩිවල
විකාර රෑ මවාලන්න
තුරැණු මනස් දඟර කරල
බඹර වගේ කරකවන්න

ගෙදර ඉන්න අක්කලාට
රසකාරක හදල දෙන්න
කොණ්ඩ මෝස්තර එක්කල
මුහුණ පාට කරල දෙන්න

අම්මලාට හීන දෙන්න
සල්ලි දීල අහන් ඉන්න
දවස පුරා පුංචි තිරේ
කතන්දරම දිග අරින්න

අතරමගදි බණ අහන්න
ඉඩක් කඩක් හදල දෙන්න
ඉරිදා දවසෙ නා නා විධ
පත්තර වැල් පලකරන්න

ලුහුඬු ඇඩ්ම පිරි පිටුවල
කාර්බාර් විකුන ගන්න
වතුපිටි හා අඹු සැමියන්
හොඳට බලල ගලප ගන්න

රට යකාට ගියා වුනත්
වැඩේ දීල බලන් ඉන්න
බොස්ගෙ හිතට වද නොදෙන්න
ඉඩක් හදල ගරා ගන්න

මාධ්‍ය නිදහසය කියල
පෙලපාලියෙ හඬ නගන්න
පෙත්සම් අත්සන් කරන්න
හදවත ගිණි නිවාලන්න

දෙස්පලුවන් ලඝු කරන්න
ගෙදර ගිහින් හම්බ වෙන්න
සමා වෙලා හොර පාරෙන්
තිළිණ අරන් ගෙදර යන්න

පෙරදිනයක යසට තිබ්බ
සදාචාරෙ හොරැ අරගෙන
සමාජයේ විශමතාව
පොදි ගහලා බදු අරගෙන

උඩුගං පීනන ඇත්තන්
විරල වුනත් ඉන්න හින්ද
උන් එක්කල එක්ව ගොසින්
ගඟ යන මග සරැ කරන්න


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
















      නිදහස් ගූගල් ඉමෙජයක් franchisessentials.wordpress.com වෙතින්



 

No comments:

Post a Comment