Sunday, November 18, 2012

ආනන්ද‍යෙ ප්‍ර‍ඥාව

ආනන්‍දෙ ප්‍රඥාව
ලබනු රි‍‍සි‍යෙන් මෙමා
රෑප පෙට්ටියක් දැක
ඒ තුලට පිවිසුනා ...

මුතු පිහාටුව මතට
විරාමය ඇතිරිලා
පිටි කිරිත්, නූඩලුත්
චොකලටුත් රහ කළා ...

වේග රිද්මෙට නටන
පනුවන්ද ඉහිරිලා
පොඩි උන්ගෙ මොල ගෙඩිය
බඹරසේ කැරකුනා ...

සුපර් ස්ටාර්, සූප ස්ටාර්
සිහින ලොව දග කවා
රඡුන් ගැන, ළදුන් ගැන
ගී ගයා පැවසුවා ...

ඉඩ කඩම් විකුණුවා
කනකරද මිළ කලා
සුපර් තරැවක් වන්න
නොමග මග, තර කළා ...

සත්‍යයේ සටහනින්
නන් පාට තතු කියා
දෙස් විදෙස් රස පුවත්
අයි පෑඩ් සැරසුවා ...

එහෙට නැති, මෙහෙට නැති
සිංගිරිසි බස් වහර
යොවුන් බව හගිණ බව
හෙලුවකින් ඉගි කළා ...

මේ ලොවට, ඒ ලොවට
දෙලොවටම වැඩක් නැති
වෛර ගිනි, ‍ක්‍රෝධ ගිනි
වපුරලා, පතුරවා ...

දෙස්පලුන් වාද වැද
මුසාවෙන්, මුලාවෙන්
වහසි බස් හලාහල
පුහු රැගුම් පෙන්වලා ...

දම් දෙසුම් මනරම්ය,
දොරම‍‍ඩොල කම්කලුය,
මියෑදුන ඥාතිනට
නිවන් මග හෙලිකරන ...

“මං අහන එෆ් ඇම්ය”,
කී නයින් මුදල් දෙන
පගාවෙන් රසික කැල්,
හදාගෙන, වඩාලන ...

ලුහුඩු වැල් ගලා යන
ඵලාපල, වශී කම්,
හොර වෙදුන්‍, හොර ගුරැන්
රඡුන්මෙන් මවාලන ...

මදක් හෝ වෙනසකට
ඉඩක් මවනා අයද,

ප්‍රඥාව වපුරන්න,
අරක් අදිනා අයද,
මේ අතර දැකිය හැක ...

උන්ගෙ වැඩ, හොද වුවත්,
රසික දන, අනුග්‍රහ
අඩු නියා, නැති නිසා ....
ප්‍රඥාවෙ ආනන්දෙ
අපෙන් ගිලිහී ගිහින්,
කොහේදෝ මංතෙරක
හිරවෙලා, නැවතිලා.


රෙන්ටන් ද අල්විස් පබැදුමක්
2012 වප් මස 18 වැනිදා

No comments:

Post a Comment