Wednesday, November 6, 2013

අකල් වැහි

අඳුරැ වැහි අහස අද
මට කියා ගෙන ගියා
හිරැට එනු
නොහැකි බව


කුඩාවුන් ඉස්කෝලෙ
යන මගදි හමුවුනා
අද උන්ගෙ හිනාහඬ
වියළිලා වියැකිලා

ගමට කඩයප්ප දෙන
හින්නි අම්මට වැස්ස
බඩට ගහලා ගිහින්
හූල්ලල බලනවා

යසට හැදු නියර බැමි
කඩින් කඩ කැඩීලා
කඩේ සීයගෙ කුඹුරෙ
එක වැඩේ දෙක වෙලා

සිප්පි ලයිසියට අද
නිවන් මග පෑදිලා
හවස බොන ගිණි වතුර
ණයට ගන්නට වෙලා

වෙසක් මල් මැලවිලා
බටිති කැල හැංගිලා
සුළඟෙ වෙලි කොහොඹ ගහ
ලජ්ජාවෙ ඇඹරැනා

යළි එන්න පායලා
සිත් අඳුර මකාලා
නාවොතින් කුඩාවුන්
උරන වෙයි සිතාලා


රෙන්ටන් අල්විස් පබැඳුමක්
(නැවත පළ කිරීමක්)

No comments:

Post a Comment