Friday, May 16, 2014

බුද්ධාගමික අායතනය තවදුරටත් අහිංසක නැත...

මා ඔබ විග්‍රහය අගය කරමි. නිවැරදි දැක්මක් ලෙස දකිමි. මාතෘකාවට (මික අායතනය) යන්න අෑඳුවෙමි.     අප මනස් විල් වල පියුම් පිපේවායි යන පැතුමද සමග, අන් මිතුරන් හා බෙදා ගනිමි !

උපුටා ගැනීම : https://www.facebook.com/puravesipathrika


ධර්මාවබෝධය වෙනුවට ආගමික අනුරාගයෙන් මත්වූවෝ මූලභූත පක්ෂපාතීත්වයන් (primordial loyalties) යුතුව මූලධර්මවාදය (fundamentalism) තෙක් පියමනිති...









විමුක්තියෙහි පාර්ශව දෙකකි...


බාහිර සාමාජීය දේශපාලනික විමුක්තිය එකකි... එයට හැමවිටම ‘අනෙකා‘ සමග ගැටුම අනිවාර්යය වේ... ඒ සදහා මතවාදීව මෙන්ම ආයුද වලින් පවා ගැටෙන්නට සිදුවේ... එහෙත් ලෝක යුද්ධ දෙකකින් පසුව විප්ලව සංහාර ගණනාවකින් පසුව දේශපාලනික සාමාජීය විමුක්තිය අරබයා වුවත් ගැටුමින් තොරව ජාතික වශයෙන් සමූහ කණ්ඩායම් වශයෙන් තමන් අභිමත විමුක්තිය අත්පත්කරගැනීම කෙරෙහි මනුෂ්‍යයින්ගේ අවධානය යොමු වී තිබේ... ගාන්ධිගේ අවිහිංසාවාදී නිදහස් සටන යනු එහි කදිම උදාහරණයක් වන්නේ ය.... ගැටුම් නිරාකරණය... සමතනය... විවිධත්වය පිළිගැනීම... අයිතිවාසිකම්... නිදහස ....

ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ඨත්වය කරා යන ගමනේ දී මිනිසුන් මේවා පුහුණු කර ඇත... තවදුරටත් ඔවුන් ශිෂ්ඨ විය යුතුය...

මනුෂ්‍යයා ධාර්මිකව පුද්ගල අභ්‍යන්තර විමුක්තිය සාක්ශාත් කරගැනීම අනෙකකි... ස්වර්ගය නිවන වැනි ඉලක්කයන් ඔවුනට තිබේ... ඔවුන්ගේ ධර්මයේ යහපත අයහපත විග්‍රහ කර තිබේ... එහෙව් ධර්මයන් අරබයා බාහිර වශයෙන් බල-දේශපාලනික වශයෙන් සටන් කරන්නට බැතිමතුන් පෙළඹීම විග්‍රහ කරගන්නේ කෙසේ ද...?

ශ්‍රී ලංකාව ඇය පෙළෙන ආගමික නොසංසිදියාව හේතුවෙන් වඩ වඩාත් ඔත්පල වෙමින් සිටින්නී ය... ලොව පුරාම පවත්නා වත්මන් ආගම් කිසිසේත්ම එම ආගම් වල ශාස්තෘෘවරුන් දෙසා වදහල ධර්මය මත පමණක්ම රදා නොපවතින ‘යමක්‘ බවට පත්ව ඇත... ඒවා තවදුරත් පුද්ගල අභ්‍යන්තර විමුක්තිය වෙනුවෙන් පමණක් ම පෙනී නොසිටිනු ඇත...

ඉතිං බුද්ධාගම/බුද්ධ ධර්මය පමණක් ඒ ශෝචනීය ඉරණමේ ගොදුරක් නොවන්නේ කෙසේ ද...?

බුද්ධ පුත්‍රයා ද බුද්ධ ශ්‍රාවකයා ද ධර්ම දේශනාව ද ඇවැත් පිළිවෙත් ද සංස්කෘතිය ද ඉතා දැවැන්ත විපරියාසයකට පත් වී ඇත... ගව අභය වෙනුවෙන් ගිනි තබාගන්නා භික්ෂූහු මූලධර්මවාදීයෝ ය... සූකර මාංස වෙළෙන්දන් වේවා, ගව මාංස වෙළෙන්දන් වේවා ඔවුන් ඔවුන්ගේ ජීවනෝපාය කරමින් දරුපවුල් නඩත්තු කරන්නෝ ය... ඔවුන්ගේ කඩ ගිනි තබන බෞද්ධයින් මූලධර්මවාදියෝය... අනුන්ගේ හලාල්, තමන්ගේ ධර්මයට ප්‍රශ්න කළ හැකි වන්නේ කෙසේ ද...? එය මූලධර්මවාදයකි...

බුද්ධ ඉතා උතුම් මිනිසෙකි... වීර්යයවන්ත මිනිසෙකි... අල්පේච්ඡතාවාදියෙකි... කාරුණික මිනිසෙකි... අභ්‍යන්තර විමුක්තියෙන් යුතු ව සැහැල්ලු මනසකින් යුතුව අවසන් ගමන් ගිය මිනිසෙකි....(මගේ විශ්වාසය පරිදි සිතෙහි නිරවුල්කමය නිවන...) එහෙයින්ම නිවන් දුටුවෙකි...! නිවන් සැප ලැබුවෙකි...!
තොරණ් නිවී... දන්සැල් අවසන් වී... වෙසක් ආලෝලනය පහව යන මේ මෙහොතේත් මම කල්පනා කරමි... පැහැදිලි අහසේ වෙසක් ස දෙස බලාගෙන මම කල්පනා කරමි....

බුද්ධ නම් ඒ උතුම් මිනිසා අද බෞද්ධ බැතිමතා විසින් අනුදැන වදාරණ මහා ධර්මස්කන්ධය දේශනා කර ඔවුනගේ හිත සුව පිණිසම සිය ජීවිත කාලයම කැප කර බෝ සෙයින් මහලුව කුසිනාරාව කරා වඩින්නට ඇත්තේ ද මෙවැනි ම වෙසඟ දිනකය.

මම මහාපරිනිබ්බානය සිහි කරමි...


මහලුවියට පත්ව සිටි ඒ උතුම් මිනිසා කුසිනාරාවට වඩින අතරමග සිය උපස්ථායික හිතවත් ආනන්ද සොහොයුරු අමතා ‘‘ ආනන්ද මට හරි තිබහයි... වතුර ටිකක් ගේන්න...‘‘ කී විට හිතවත් ආනන්ද තෙම ඊට මද වේලාවකට කලින් ගිය ගැලක් නිසා අපවිත්‍රව මඩ වී ගිය වතුරපාරකින් වතුර පාත්‍රයක් ගෙන දීමේ දර්ශනයක් මගේ මනැසේ මැවේ... සල්ලි සම්මාදම් කරමින් මහත් උත්සවාකාරයෙන් පැවැත්වෙන දන්සල් අඩහැරය මැද මට ඇහෙන්නේ ඒ උතුම් මනුෂ්‍යයාගේ කටහඩයි... ‘‘ ආනන්ද මට හරි තිබහයි...‘‘

බෞද්ධාගම ද ඇතුලත්ව ලොව පුරාම පවත්නා සෙසු ආගම් සියල්ලක්ම පාහේ වර්තමානයේදී කිසිසේත්ම එම ආගම් වල ශාස්තෘෘවරුන් දෙසා වදහල ධර්මය මත පමණක්ම රදා නොපවතින ‘යමක්‘ බවට පත්ව ඇත... එය විනෝදය/වින්දනය කළ හැක... බෞද්ධාගම ද ඇතුලත්ව ඒවා තවදුරත් පුද්ගල අභ්‍යන්තර විමුක්තිය වෙනුවෙන් පමණක් ම පෙනී නොසිටිනු ඇත... එය දේශපාලනික අවියක්ව භාවිතා කළ හැක... දේශානුරාගයට බද්ධ කර ‘මේ සිංහල බෞද්ධ රට‘ යැයි කියමින් අනෙකාට රිදවිය හැක... තර්ජනය කළ හැක...

මොන්ටෙරෝ වර්ගයේ ඈ සුපිරි යාන වාහන වල බණට වැඩමවන හාමුදුරුවරුන් දකින විට ද මට මතක්වන්නේ බුද්ධ නැමැති මිනිසාගේ දුෂ්කර චාරිකා සටහන් ය... අද ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී පන්සල් වල සැප පහසුකම් දකින විට මට මතක් වන්නේ ද බුද්ධ නමැති ඒ අසිරිමත් මිනිසාගේ අල්පේච්ඡතා ගුණයයි...

පිරිනිවීමට කුසිනාරාවට වඩින අතරමග දී ම...‘‘ආනන්ද මගේ සගල සිවුර හතරට නමා එලන්න... මට ක්ලාන්තයි... මට මදක් සැතපෙන්නට ඕනෑ...‘‘ යි කීවේ ලු...

එවන් උතුම් මිනිසෙකු ගේ ගහක් යට සිදුවූ උපත, ගහක් යටදී ලැබූ බුද්ධත්වය, ගහක් යට ලැබූ පිරිණිවීම සමරමින් මිනිසුන් වර්ණවත් මංගල්‍යක් කරන හේතුව මට නොදැනේ....

එහෙයින්ම මම නැවත නැවතත් කියමි...


ශ්‍රී ලංකාවේ බෞද්ධයින් දැන හෝ නොදැන බෞද්ධ මූලධර්මවාදයක ව්‍යාප්තියකට අනුබල දෙමින් සිටින බව මට හැගේ... මගේ ඇස් කන් වලට පමණක් නොව මනැසට මෙන්ම බුද්ධියට ද ගෝචර වේ... කිසිසේත්ම එය වෙසක් ප්‍රීති උත්සව වල හරසුන් විනෝදය තරම් නම් අහිංසක නැත...

1 comment: