Monday, May 5, 2014

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය නයින් මැවෙනා නව ත්‍රස්තවාදය

        
මා ඔබට කීවම, අද අපේ රටේ ගාල් ක්‍රමයට පවතිනා උපකාරක පන්ති අධ්‍යාපන ක්‍රමය, නුදුරැ අනාගතයේදී, රටට ඉතා හානිකාරී හා භයානක තත්වයක් ඇති කිරීමට ඉවහල් වනු ඇති බව, ඔබ සමහර විට මා සමග එකඟ නොවේවි. ඔබ දෙමාපියකු නම් හෝ,  විදුහල්පතිවරයෙකු නම් හෝ, දරැවන් ගැන මිස, හුදු මුදල ගැන නොසිතනා ගුරැවරයෙක් නම් හෝ අප මව්බිමේ අනාගත සුබසිද්ධිය පතනා හිතවාදී ප්‍රතිපත්ති තීරකයකු හෝ නිලදරැවකු නම්, මඳක් නැවතී, නිවහල්ව, සිතා බලන්න.

පාසලක හා පංතියක තිබෙනා හෝ තිබිය යුතු, දරැවන් එකිනෙකා අතර හා දරැවන් හා ගුරැවරැන් අතර බැඳීම් හා උගතමනා හර වටිනාකම් වලින් තොරව, හුදු කෙටි සටහන් හා විභාග ප්‍රශ්නෝත්පත්තර හා පංතිය සඳහා ගෙවීම් ගෙව්වාදැයි සටහන් කරනා, දරැවා අංකයක් පමනක් වන, කාඩ්පත් වැනි දෑ මූලිකව, සිය දහස් ගණනින් ගාල් ගැහෙන දරැවන්ට ලැබෙනා ‘අධ්‍යාපනය’, අධ්‍යාපනයක්ද? මුල් පත පොත ඇසුරෙන් මිදී, පොත් සාප්පුවල තොග ගණනින් විකිනීමට තිබෙනා, ගුරැ හොරැන් ලියා පළ කරන, කෙටි සටහන් හා විභාග ප්‍රශ්නෝත්පත්තර ‘පොත්’ හදාරන දරැවන්, අනාගතයේ විභාග ඉහලින් සමත් වූවද, පරිපූර්ණ අධ්‍යාපනයක් නොලැබූ පුරවැසියන් ලෙස රටට, ලොවට එකතුවනු ඇත.

නිදහස් යැයි උත්සව පවත්වා උදම්වන, මුදලට පවත්වන උපකාරක පංති කෙරේ දරැවන් මුල් ළමාවියේ සිටම තල්ලුකරනා, ඒ නයින් ප්‍රචාරක වැඩ කොට, “දරැවා .... විශයට දුර්වලයි. අර සර්ගෙ (මගෙ සගයගෙ) පංතියට අරින්න. එතකොට විභාගය සමත් වේවි” හෝ “මගෙ හවස ගෙවන පංතියට එවන්න” යැයි කියනා ගුරැහොරැන් දැන් ගමටද ව්‍යාප්තව ඇත.

ජාතික පාසල් වල උසස් පෙළ පංති වල සිසුන් නැත.  ගුරැවරැන් පංතියේ උගන්වන්නේ නැති නිසා, දරැවන් උපකාරක පංති වලට, සාමාන්‍ය පංති වෙලාවේ යති. දරැවන් පංති නොඑන නිසා යයි කියා, පිටත තොග ටියුෂන් පංති පවත්වන ගුරැන් නම් දැන් අප අතර හිඟ නැත. මෙවන් උගුලකට හසුව ඇති, දරැවන්ගේ දෙමව්පියන්ද, අඩු, වැඩි වශයෙන් මෙම අමන ව්‍යාපාරයේ වර්ධනයට දායක වී ඇත. ගුරැහොරැන්ගෙන් මුදල් ලබාගෙන තම මැතිවරණ ව්‍යාපාර තර කරගන්නා, දෙස්පලුවන් ගැනද අප අසා ඇත.

හැම දෙයම මුදලට විකිනෙන, විකුනන අප දරැවන් හැදී, වැඩෙන මෙම සමාජය තුල ගුරැවරැන් හට නිසි ආදායම් ලබා ගැනීමට තිබෙන අයිතියට අප කිසිසේත් විරැද්ධ වන්නේ නැත. එහෙත් රජයෙන් වැටුප් ලබමින්, ඒ හා බැඳුණු වරප්‍රසාද භුක්ති විඳමින්, සමහර ගුරැවරැන් යැයි කියාගන්නා අය, අප පාසල් පද්ධතියටත්, අධ්‍යාපනයටත් කරනා වින, ආශ්චර්යමත් අනාගතයක් පතනා රටකට, පරම්පරා ගණනකට ආපසු හැරවිය නොහැකි අන්දමේ ක්‍රියාදාමයක්ව  ඇත.

අධ්‍යාපන ඇමතිතුමනි, කලකට පෙර උපකාරක පංති ගුරැවරයකු වූ ඔබ, මේ අධ්‍යාපනයට වන ව්‍යසනය හා ගොඩනැගී ඇති නව ත්‍රස්තවාදය පිළිබඳව නිසි අවධානය යොමු කොට, මනාව සකැසුනු, පාසල් මිසක, උපකාරත පංති හා ගුරැහොරැන් මත පෙළ නොගැසෙන, අප දැයට තොග ගණන් ඇවැසි, නැණවත්, ගුණවත් හා සංවේදී මිනිසුත් බිහි කරන්නට හැකිවනු,  වූ හා වන වැරදි හදා ගන්නා මගකට යොමුවනු ඇතැයි අප පතමු.

රෙන්ටන් ද අල්විස්





     

No comments:

Post a Comment