කවුද කිව්වෙ මගෙ තාත්තෙ
කවුද කිව්වෙ මගේ අම්මෙ
විනාඩියට ටික් ටික් තියෙන්නෙ
හැටයි කියල
ඕටිසම් මල්ලිට ටික් ටික්
දෙසීයක් විතර
ඩවුන් සින්ඩෝරෝම් මට
විස්සක් තිහක් විතර
ඒත් ඔයාලට ඕනෙ
අපි හැටට යනව දකින්න
අපිත් ආසයි
ගොඩක් ආසයි
ඒත් බැහැනෙ.
අහන් ඉන්න
අහගෙන ඉන්න කියල
බැගෑවෙන් ඉල්ලපු
අඳුරෙ එළිය දැක්ක
මේකලා අක්කගෙ ලස්සන
සිංදුව අපටත් යසට ඇහුන
එකමත් එක කාලෙක
හැමෝගෙම ෆෝන් වල
රින්ග් ටෝන් වෙල තිබිල
දැන් හැලිල ෆැෂන් එක
ඉක්ම ගිහින් චුත වෙලා හින්ද
ඉන්න ඕන දැන් ආයෙත්
ජාත්‍යන්තර ළමා දිනයක්
අපි ගැනම සිංදු ලියන
ලියලා නටලා රහට ගයන
නගරෙ සංකීර්නෙ ප්‍රදර්ශණ
දිනයක් දවසක් එනකං.
ඒව මේව මොනව උනත්
අම්මෙ තාත්තෙ
මාමෙ නැන්දෙ
අපෙ විනාඩියෙ ටික් ටික්
හැටක් නෙවි තියෙන්න
අඩු වැඩි වෙනව
උඩු යටිකුරැ වෙනව.
අපි හින්ද ඔයගොල්ල විඳින දුක
අපි දන්නෙ නෑ කියලා
ඔයගොල්ල හිතුවට
අපෙ අඩුවෙන් හරි වැඩියෙන් හරි
ටික් ටික් ගාන විනාඩි අස්සෙ
ඒ වේදනාව මීටර් වෙනව.
මාසෙකට දවසක් ගෙදරට එන
ඇවිත් ලයිට් වතුර බිල්
අම්මට දීල යන
එතකොට අම්මා හූල්ලන
බිල් කඩන මාමලගෙ
බිල් සටහන් ගණන් වගෙ
ඒව අපිට කවුන්ටරේට
ගෙවන්න බැහැනෙ අම්මෙ.
අමාරැවෙන් කාසි හොයන්
ඒවා ගෙවන්න අම්මා
බැංකුවට ගියාම
පඩි නැගල රෝද පුටුවෙන් හරි
අම්මගෙ අතේ හයියෙන් හරි
උඩ තට්ටුවට ගිහින්
අම්මගෙ අත ආදරෙන්
අල්ලගෙන බලන් ඉන්නෙ
ඔයාලගෙ ලෝකෙ
විනාඩියට තියෙන
ටික් ටික් හැට
අපේ ලෝකෙ අඩු වැඩියට
තියෙන හින්ද මිසක්
අම්මෙ තාත්තෙ
නැන්දෙ මාමෙ
අපෙ ආදරේ සෙනෙහසේ
අඩුවක් වෙලා හින්ද නෙවි.
ඒව ටික් ටික් වල
විනාඩිවල පැය දවස් වල නෙවි
අමාරැවෙන් වුනත්
ගැට ගහල පොදි බැඳල
ආදරෙන් බදාගෙන
තියාගෙන ඉන්නෙ
මගෙ පුංචි හිත ඇතුලෙ.
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 11 වෙනිදා.
Image from Ape Pattauw poster.
No comments:
Post a Comment