Monday, September 23, 2013

මහ ගෙදර වත



වරිගෙ බරපොදි බරට විකුණුන
නවාතැන් පොලෙ බාල්කය මත
හට්ටි පොඩ්ඩක දිරපු ලනුවක
වරෙක දුටුවා පුංචි කහවණු

වේයො උන්නට බිත්ති තිබුනට
උන්ට රසකර කන්ට දේ නැත
පරපුරේ රස කතා ගෙතුවට
දුක්ක දොම්නස ඉහ පුරා ඇත

මැවිසි කෙඳිරිලි පෙට්ටගම් තුල
කටොලු පරඬැල් තිබුන ඇඳ යට
කස්තාන කඩු මල බැඳී ඇත
ලියපු පන්හිඳෙ තුඩ කැඩී ඇත

පොළොව කඩතොලු වහල සිදුරැති
හාන්සිය මත පුටුවෙ හිල් ඇත
සාංකාවට ඉහළ බැලුවට
බලන්නට නිසි වරම් හෙම නැත

පළිඟු බන්දෙසි ඉරිතලා ගිය
පොඩි කටුව හැලු බට්ටා ඔර්ලොසු
කාලෙ කෑවට වෙලා බැලුවට
වරිගෙ සේ රෑ බිම වැටී ඇත.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment