රැපුසෙන් නසා වනසා දිනු ජය මේය
පවට පින් දෙමින් සැදුවේ මහ සෑය
මරණ වැලකි නන් මිනිසුන් පැණි කෑය
එපා කිසි දිනක නැවතත් දර සෑය
මුදලට හිලව්වට මැති කැල දිනු සේය
පියවර කලින් හැඩසැර කර සැරසේය
ඉකිබින්දාට හඬනා හඬ නෑසේය
වෙනසක් වීද බැත මැඩුනේ පෙරසේය
ගොම්මං යකුන් සරනා රළු කැලෑ මැද
රන් පලඳනා ඇඳි යුවතින් ගියාවෙද
යන ගමනේ මග නොම දැන මුලාවෙද
විමසු සිතින් මැන බැලුමයි වඩා හොඳ
රජකු වුනත් දන ලොල් ඔද අඩු වේද
ගහපු බෙරේ පලුවක් බිඳුනා වේද
දකිනා සිහිනෙ සුදු ඇතුනට මග වේද
වඩිනා ගමනෙ පාවඩ සුද බැබලේද
පරපුර වඩන රිසි වනදෑ නොම වේවා
නය ගැති නොවී දැය නගනට හැකිවේවා
නන් අදිරදුන් අණසක වින දුරැවේවා
යහ දම් ගුණෙන් අල්වක් යකු මැඩලේවා
සිතනා මනා කරනා දේ සරැ වේවා
ගෙල රන් නැතත් යහ දරැවන් බිහිවේවා
අරැත් දමින් මගෙ මව් බිම සැරසේවා
ගුණනැණ බෙලෙන් රට දැය මතු බැබලේවා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 14 වනදා
No comments:
Post a Comment